Thursday, April 1, 2010

ගීතයක් ගැන෴

                                                     කෙනෙකුගේ සිත තුළ දැල්වෙමින් දෝංකාර දෙන වේදනාවේ හඩ කඳුළු
කර දියකර හරින්නම ඕන නැහැ.කඳුළු නොසලාම ආත්ම ගත ජීවිතයේ සදාකාලික වේදනාව තව කෙනෙකුට කියා දෙන්න පුලුවන්.
මිල්ටන් මල්ලවාරච්චිගේ හඩ තුළ, සියුම් බවින්  මතුකරණ ශෝකී ස්වර පරාසය,කඳුළු කඩා හැළෙණ මතකයක් වෙත අපව ගෙන යනව.එය සදාකාලික සිහිනයක් පිළිබඳවද,අත්මයේ සදා නොනිවී දැල්වෙන පහන් සිලක් පිළිබඳවද වූ සදා අණුස්මරණීය පද වැළක්.
                                     කඳු පාර ඈත අයිනේ
                                     සඳ රෑක ඈ සිනාසේ
                                     වේදනා සිතාරයේ
                                     ඒ ගීත රාවේ ඇසේවා
                                     ජීවිතේ පුරා...........

ජීවිතේ කවදාවත් තරහක් නැහැ.හැර දමා යන්න....ඔඹට ඕන තරම් හේතු තියෙන්න ඇති.නොකිව්වෙ ඇයි කියලඅහන්න අයිතියක් තියෙනබව ඇත්ත.ඒත් නොකියම ගියේ,තව තවත් හදවත වේදනාවට පත් කරන්න
තියෙන අකමැත්ත නිසා බව  නොදන්නව නොවෙයි.
                                                                                 ඉස්සර වගේම තාමත් සීතල සුලං හමා යනව.ඇවිද ගිය ගුරුපාර ඉහත්තෑවෙන් තාමත් සඳ පායනව.එදා වගේම මම තාමත් එතනට වෙළා ඔහේ බලා ඉන්නව.වෙනද වගේ ඔයා එනතෙක් නොවෙයි.ඔඹ නොඑන බව දැන දැනත් මම තාමත් එතනමයි....
                                                                                                                             ඔයාට මතකද මහ කන්ද පාමුල දිය කඩිත්ත..තාමත් සිලි සිලි හඩින් කතා කරණව....ඔයා අදත් නැත්තේ ඇයි කියල මගෙන් අහන්න එපා කියල හැම දාමත් කියනව.හුළගෙ පාවෙලා ගිය හිනා හඩ....ගීතයක් වගේ.එදා වගේම තාමත් ඒ හිනාව මගේ හිත උණුසුම් කරණව.ඔයා ඉතිරි කර ගිය හදවතේ සුවඳ,ඒ විධියටම මට තාමත් දැනෙනව....
                                                                                                                                                
හැම දෙයක්ම වෙච්ච හැටි හරිම පුදුමාකාරයි.ඒ ව්ගේම හිතුවක්කාරයි.මේ විධියට හැම දෙයක්ම අතර මග නතර කරන්න උණේ ඇයි කියල තාමත් තේරෙන්නැහැ.පාළුවෙන් ඉන්න හැම මොහොතකම හිත මාවත් අරගෙණ ඔයා හොයාගෙන ඈතටම යනව.
         "සමනළයින්ගෙ පස්සෙන් දුවන්න අදනම් මට බැහැ....
          ඔයාගෙ ආශාවෙ ඉවරයක් නැහැනෙ ඉතිං................"
          කෝ....එන්න....මගේ ළගින් වාඩි වෙන්න...
          බලන්න.......ඉර යන්න හදනව.දවසේ ලස්සනම හැන්දෑව අරගෙන...
          ඉතින්...මං මක්කරන්නද....?
          ඔයා මොකුත් කරන්න ඕන නැහැ....අහන් ඉන්න..
          ම්හ්.........
          ඉර එළියෙ අළු පාට මළානිකයි.ඒත් ඔයාගෙ මූණට වැටුණම පරවෙච්ච......
          ම්හ්.......මොකද්ද?
          කෙහෙල් මලක් වගෙයි...හහ් හහ්......
          හහ්....ඊර්ෂියා කාරය....නපුර....මම යන්න යනව.....
          ඉතින් යන එකනේ ඇත්තේ...
          යනව තමයි..විණාඩියක්වත් ඉන්නැහැ..රෝස මලක් හොයා ගන්න එකයි ඇත්තේ.
          හොයා ගන්නව තමයි.
          මොකටද එහෙනං මගේ පස්සෙන් ආවේ..
          ඔයානෙ ආවෙ....
          මම
          නෑ  මම...
          ඉහි ..ඉහි..ඊඊඊ....
          අඩන්නෑ මෙතන බොරුවට...


මල් වල සුවදත්, ඒවට පාට ආපු හැටිත් ,මතකද මං ඔයාට කියළ දුන්න.වරු ගනන් අපි කියෝ කියෝ ඉඳපු දේවල් කිසිම තේරුමක් ඇති දේවල් නෙවෙයි.ඒ දේවල් ඇත්තටම කොච්චර බොළඳද...ඒත් ඒ කාලෙ ඒ දේවල් අපිට කොච්චර වැදගත්ද.මතකයි නේ......
                                  යාලු වී දෙවැටේ එදා
                                  කී කතා අසා
                                  පාළු වී හැඩුවා සදා
                                  මාරුතේ පවා............

දැන්නම් ළගින්ම වාඩිවෙලා හිටියට....මතකද ඒ දවස් වල කරපු දේවල්...මගේ දිහාවත් නොබලම ගියපු තරමක්.තිබුන ආඩම්බර කම.හිතන් හිටියෙ හොද වැඩක් කරන්න.අඩම්බර කම යන්නත් එක්ක.
                                     වෙලාවකට හිත පුදුම විධියට කඩා වැටෙණව.අතින් ඇල්ලුවෙ කවදාවත් අතාරින්න නෙවෙයි.ඔය ඇස්වල පිරිල තිබුණ ආදරය ගැන විශ්වාසයක් විතරයි තිබුනෙ.ඉපඳුන හැම ආත්මෙකම ඔයා මගේ වෙලා හිටිය බව ඇත්ත.අත්මගානක් පෙරුම් පුරාගෙන ආව බවත් ඇත්ත.අපි කවදාවත් වෙන්වෙන්න හමුවෙච්ච දෙන්නෙක් නෙවෙයි....ඒත් මට ඔයා රැකගන්න බැරි උණා.හැම දෙයක්ම විනාශ වෙලා ගියා.මතක් වෙද්දි,මං කොහොම මේ දේවල් දරා ගන්නද...
                                                      ජීවිතේ මොන දේකට මූන දෙන්න උණත්,හැර නොයන බව දැන හිටියා.නොකිව්වට ,අනාගතේ වෙණුවෙන් ප්‍රාර්ථනා ගොඩනගපු හැටිත් දන්නව.බොරුවට තරහ වෙලා ගියත්, ඇස්වල කඳුළු පුරෝගෙන පස්සෙන්ම ආව හැටි..........
                                                                               කල්ප ගානක් ගත වුණත් අවසානයක් නැති දුකක් ඉතුරුකර ගන්න උනේ මොන කරුමෙකටදැයි අදටත් තේරෙන්නැහැ.මේ හැම දෙයක්ම මට වේදනාවක්......ගෙවිල ගිය ජීවිතෙ කොච්චර ලස්සනද.සියල්ල අතෑරල,..අපි අපිටම වෙන්නෙ කවද්ද කියල නොහිතපු දවසක් නැතුව ඇති.
හැම  දෙයක්ම හරිම පුදුමාකාරයි.ජීවිතේ හැම බලාපොරොත්තුවක්ම පාවෙලා යන සුළගට ඉතුරුකරල ඔයා වෙන් වෙලා ගියා.....ජීවිතේ එතනම නතර උණා.ඔයාගෙ හිත අනන්තවාරයක් හඩා වැටෙන්න ඇති.රත්තරං... මේ අපි දෙන්නගෙ දයිවය.වෙන් නොවෙන්න හමු උණාට,හැම දෙයක්ම අපිත් නොදැනම වෙනස් උණා....කිසිදිනක අපි අපේ නොවෙන බව ලියැවිලා තියෙන්න ඇති.ඇත්තටම ඒ කලෙ නොතේරුන හුගාක් දේවල් දැන් අපිට තේරෙනව.ඒත් එතකොට අපි දෙන්නම කොච්චර පරක්කුද......
                                                                                                                                   අදටත් හුළග පාවෙලා යන්නෙ අපි දෙන්නගෙ ප්‍රාර්ථනා අරගෙන.ඔයා දන්නවද...සමහරක්දාට හුළග හයියෙන්ම ඇවිත් ජනෙල් පියන්වල හැපි හැපී ඔයා ගැනම අහනව.සුළග අපිට මල් සුවඳ ගෙනත් දුන්න තමයි.පවන් සැලූ බවත් ඇත්ත.ඒත් ඇයි මේ විධියට මට වද දෙන්නේ.මේ දුක හරිම පීඩාවක්.ඇස් පියාගෙන මට ඉන්න ඕන.ඇස් දෙක ඇරල බලන්න තරං දෙයක් ඉතුරුවෙලා නැහැ.
                                         කොහොම උණත් ඔයා හැම දාමත් නිවැරදියි.හුගක් අයට ඒක තේරුං ගන්න බැරි උනා.කවුරුත් හිතන් ඉන්නෙ මාව තනි කරල ඔයා යන්න ගියා කියල.කෑගහල මුළු ලෝකෙටම කියන්න හිතෙනව....ඔයා නිවැරදියි කියලා.ඒත් කවදහරි හැමෝම ඇත්ත තේරුම් ගනීවි.
                                  ගං ඉමේ මාදන් කැලේ
                                  පාසලේ පුරා
                                  මා සොයා ආවා වගේ
                                  වෙන් වෙලා ගියා

ඒ කාලෙ ආදරේට අපි පොඩි වැඩියි.බොළඳකම ඊටත් වැඩියි.අපි පොඩි ළමයි.ඒක ඇත්ත.ඒත් ආදරෙත් එක්කමයි අපි ලොකු මහත් උණෙ.අපි කොච්චර ගුටි කෑවද...මතකද....අපේ පංතිය භාරව හිටපු ටීචර්. අපි දෙන්නගෙ හොර අල්ලන්නම රැකල හිටපු තරමක්.කතාකිරීමත් තහනම්...මතකයි නෙ..මේව මතක්වෙද්දි කඳුළු කඩා වැටෙන්න එපා කියල ඇස් වලට කියන්නද....මට විකාරද මන්ද...ඔයා මේ විකාර අමතක කරල දාන්න....
                                  පුංචි ළමයින්ගෙ ආදරේ බලාපොරොත්තු, ප්‍රාර්ථනා නැති හීනයක්.සීමාවක් නැති සිතුවිල්ලක්.එදා අපිට එහෙම නොතේරුනාට ඒ මතකයේ වේදනාව පවා කොච්චර පීඩාවක්ද. අපි දෙන්න ලොකුමහත් උනේ අපි දෙන්න වෙනුවෙන්.හුස්ම ගත්තේ පවා එහෙමයි.මම වගේම,ඔයත් මට ආදරේ කරේ මොනව දැනගෙනද.ඒ නිසාමයි දරාගන්න බැරි තරමට මේ දුක පස්සෙන්ම එන්නෙ.ඔයාගෙ හුස්ම හඩ පවා අදටත් මතකයි.ඉතිරිකර ගිය මතකය මහා කන්දක් තරමටත් වඩා විශාලයි.මැරෙනකම්ම අතෑරලා යන්න බැරි මතකයක් ඔයා ඉතිරිකරා.......
                                            මේ තරං ගැඹුරු ආදරයක මාව අතරමං නොකළනම් හොදයි කියල ඔයාට තේරුන්නැද්ද...මේ ආදරේ අදටත් මට අතෑරලා යන්න බැරි ඇයි...මොන වරද කළත් ,මගේ   පස්සෙන්ම
ඇවිත් ඇයි මාව අතරමං කළේ.....අවුරුදුම කීයක්ද.ඇයි මට නිදහසේ මැරෙන්න ඉඩ නොදෙන්නෙ.ජීවිතේ කවදාවත් මම ඔයාට සමාවක් දෙන එකක් නැහැ.මැරි මැරී උපදින්න උනේ මට ඔයා හින්දයි.මේ පීඩාව ආත්මගානක් මගේ පස්සෙන් ඒවි.
                                                                     ඇත්ත... මේ තනිකමත් පාළුවත්  දැන් මට හොදට පුරුදුයි.ඒත්
 හදවත ඉරාගෙන ඇයි ඔයා තාමත් මතුවෙන්නෙ.
                                                                          ගමේ ඉහත්තෑවෙ අදටත් කුරුල්ලො සිංදු කියනව.දම්පාට
මාදං පොකුරු ඔයා එනකං බලාගෙන ඉන්නව.මාදං හැදිච්ච කාලෙට මතකද අපි පොරකකා ඒව කඩ කඩ එකතු කළ හැටි....ම්ම්....කන්ද උඩම වෙරළු ගහ .....මල් පිපෙන්න අපි එනකං බලාගෙන ඉන්නව.ළාපාට හැම තැනම ඉහිරවල වගේ.ගුමු ගුමුවෙ ඉවරයක් නැහැ..බඹරු පිරිල මල් සුවදට.ආදරේ අනන්තය කොච්චර ගැඹුරුදැයි අද වගේ ඒකාලෙ අපිට තේරුන්නැහැ.ඒත් හදවතේ පතුලේම සැගවිලා අපි හිනා උනා.සීතලම සීතල දෙතොල් රතු පාටින් උණුසුම් උනාම ඔයා ඇස් පියා ගන්නව.ඔයා ඉතිරිකළ ආදරයේ පළමු හාද්ද,මුළු ජීවිතේම අවසන් මතකය වේයැයි ඒ කාලෙ කොහොමටවත් හිතුන්නැහැ.දැනුත් කන්ද ඉහත්තෑවෙ හැම තැනම මල් පිරිල.කිසිම පැහැයක් නැහැ.ඔයා නැතුව මල් වලට කොහොම පැහැයක් එන්නද....මම ආයෙ කවදාවත් එහේ යන්නැහැ.ඔයාගෙ සුවඳ අරගෙන හමා එන සුළග දරාගන්න මට බැහැ.
                                                                                        අපි ඇවිද ගිය පාසලේ අරලිය වැට......ඒ කාලෙ අපි දෙන්න වගේම පුංචි ළමයි අදත් ඒ ගස් යට පෙම් බස් දොඩනව.අපි රණ්ඩුකරපු ඒ පුංචිම පුංචි කාලෙ කොච්චර ලස්සනද...ආයෙ කවදාවත් එන්නැහැ.හරියට ඔයා වගේම.ඔයාගෙ මුතුකැට අකුරු පිරිච්ච මගේ සටහන් පොත් පුච්චල විසිකරළත් අවුරුදු කීයක්ද.ඒත් ඒ මුතුකැට මතකය...මගේ හදවතේ සදාකාලිකවම ඔයා ලියා ගිහින්.වෙන මතකයකට පවා ඉඩ නොදීම.හැම ලේ කඳුළකම පවා...
                                                                                                             කාලය ගොඩක් ගෙවිල ගිහින්.ඒත් අද ඊයෙ වගේ.මතකය හරිම බරයි.දැනෙන්නෙ අසරණ බවක්. ඒ වගේම මහා මූසල පාළුවක්. ඔයා ඉද්දි තිබුන හිතේ හයියවත් දැන් නැහැ.ගොඩක් දේවල් වෙනස් වෙලා.කෙළවරක් නැති මේ ජීවිත ගමනෙදි කොච්චර අය හමු උණාද.ඒ හුගාක් අය වෙන් වෙලා ගියා.මතකයක් පවා ඉතිරි නොකරම.ඒත් ඔයා....ඒ මතකය හරිම වේදනාකාරීයි.ගොඩක් දුක් බරයි.....
                                                     ජීවිතේ විඩාබර බව හොදටම දැනෙනව.මේ හැම දේකටම සමුදෙන්න ..හැම දේකින්ම සදහටම වෙන්වෙලා යන්න කාලය ඇවිත් කියල දැන් තේරෙනව.ඒත් ඔයාගෙ උදව් නැතුව ඒක කරන්න බැහැ.ඒකට මට උදව් කරන්න....
                                                                                      ගුරුපාර දිගේ ඇයි ඔබ අදටත් ඇවිද යන්නෙ.මගේ ළගින්ම....හැමදේම ඉස්සර වගේ නොවන බව ඇයි තේරුම් නොගන්නෙ.මගේ පාඩුවෙ මැරෙන්න මට ඉඩ දෙන්න.ඒක යුතුකමක් කියල හිතන්න....කමක් නැහැ...මේ හැම දෙයක්ම තව ගොඩක් කල් තියෙන එකක් නැහැ.මේ වේදනාවටත් නිමාවක් තියේවි.............හැම භවයකම අපි හමු වේවි..........සිනාසේවි......කතාකරාවි.
යළි කවදාවත් ආදරේ නොකරාවි...........
                                                                                                       
         
       

Blog Archive